සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) ගම්පහදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. අභියෝග හමුවේ ඒවා නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දායක වූ දෙස් විදෙස් සියලු දෙනාට එහිදී අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් එක් කළාය. පුණ්‍ය කාලය තුළ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වූ ඇය, පසුව සුබ නැකතට අනුව වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් නිවසක පැළයක් රෝපණය කිරීමට ද එක් වූවාය.
මෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස අග්‍රාමාත්‍යවරිය දරුවන් සමඟ එක්ව අකුරු ලිවීමේ හා කියවීමේ නැකැත් චාරිත්‍රයට සහභාගී වෙමින් දේශයේ දරු පරපුරේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ සුබ කර්තව්‍යය සනිටුහන් කළාය. අනතුරුව ඇය දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවල නිරත වූ අතර ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ චාරිත්‍රවලට ද එක් වූවාය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විජිත හේරත්, මහින්ද ජයසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.














