ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වන හැරී කුමරු සහ මේගන් කුමරිය සිය සිඩ්නි නුවර සංචාරය ආරම්භ කරමින් පසුගිය දෙසැම්බර් 14 වැනිදා බොන්ඩායි වෙරළ තීරයේදී (Bondi Beach) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස සහ එම අවස්ථාවේ සහන සේවා සැපයූ ජීවිතාරක්ෂක නිලධාරීන් හමුවූහ. එහිදී ඔවුන් ප්‍රහාරයට ලක්වූවන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා සිටියහ.
පසුව සිඩ්නි ඔපෙරා හවුස් (Opera House) පරිශ්‍රය වෙත පැමිණි රාජකීය යුවළ දැකබලා ගැනීම සඳහා විශාල පිරිසක් එක්රොක් වී සිටි අතර, එහිදී ඔවුන් යුද ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සංවිධානයක් වන ‘ඉන්වික්ටස් ඔස්ට්‍රේලියා’ (Invictus Australia) හි සාමාජිකයන් සමඟ සිඩ්නි වරාය පරිශ්‍රයේ බෝට්ටු සංචාරයක ද නිරත වූහ. දින හතරක මෙම සංචාරය පුරා ඔවුන් මානසික සෞඛ්‍ය වැඩසටහන් සහ යුද ප්‍රවීණයන් වෙනුවෙන් පවත්වන වැඩසටහන් සඳහා සිය සහයෝගය පළ කළහ. අද සන්ධ්‍යාවේ පැවැත්වෙන රග්බි තරගයක් නැරඹීමෙන් අනතුරුව ඔවුන් සිය ඔස්ට්‍රේලියානු සංචාරය නිමා කිරීමට නියමිතය.














