චීනයේ ෂෙන්ෂු-21 (Shenzhou-21) අභ්‍යවකාශ මෙහෙයුමට එක්ව සිටින අභ්‍යවකාශගාමීන් තිදෙනා නියමිත කාලයට වඩා තවත් අමතර මාසයක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිනු ඇති බව චීන රාජ්‍ය රූපවාහිනිය අද (17) වාර්තා කළේය. චීන මානව අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙම මෙහෙයුම් කාලය දීර්ඝ කර තිබේ.
ෂෙන්ෂු-21 යානය පසුගිය වසරේ ඔක්තෝබර් 31 වැනිදා අභ්‍යවකාශගත වූ අතර, එහි අණදෙන නිලධාරී ෂැං ලූ (Zhang Lu) සමඟ චීනයේ ලාබාලතම අභ්‍යවකාශගාමියා වන වු ෆෙයි (Wu Fei) සහ ෂැං හොංෂැං (Zhang Hongzhang) යන පිරිස ඇතුළත් වේ. මාස හයක කාලයක් සඳහා සැලසුම් කර තිබූ මෙම මෙහෙයුම යටතේ ඔවුන් මේ වන විටත් මාස පහකට අධික කාලයක් අභ්‍යවකාශයේ ගත කර ඇත.
මෙම කාලය තුළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රොබෝ හස්තය භාවිත කරමින් අභ්‍යවකාශ සුන්බුන්වලින් ආරක්ෂා වීමේ උපාංග සවි කිරීම සහ බාහිර උපකරණ පරීක්ෂා කිරීම වැනි කාර්යයන් සාර්ථකව නිම කර ඇති බව වාර්තා වේ. ඔවුන් අප්‍රේල් මාසය අවසානයේදී යළි පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණද, මෙම නව තීරණයත් සමඟ ඔවුන්ගේ පැමිණීම තවත් මාසයකින් ප්‍රමාද වනු ඇත. ඔවුන් දැනට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සහ ක්‍රියාකාරී මට්ටමක පසුවන බව ද චීන බලධාරීන් තහවුරු කරයි.














