අමෙරිකානු වෙළෙඳ භාණ්ඩ අනාගත ගනුදෙනු කොමිසම (CFTC) සිය කාර්ය මණ්ඩලය විශාල වශයෙන් අඩු වී තිබියදීත්, ක්‍රිප්ටෝ මුදල් සහ අනාවැකි වෙළෙඳපොළ (Prediction markets) නිරීක්ෂණය කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීයකරණය දැඩි ලෙස භාවිතා කරන බව ප්‍රකාශ කර ඇත.
2025 වසරේ සිට CFTC ආයතනයේ කාර්ය මණ්ඩලය හතරෙන් පංගුවකින් පමණ අඩු වී ඇති නමුත්, AI තාක්ෂණය නිසා විමර්ශන සහ වෙළෙඳපොළ නිරීක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වී ඇති බව එහි සභාපති මයික් සෙලික් (Mike Selick) පවසයි. දැනටමත් විමර්ශන රාශියක් සඳහා මෙම තාක්ෂණය සෘජුවම දායක කර ගන්නා බව ඔහු අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටුවක් හමුවේ කියා සිටියේය.
පවතින සීමිත සම්පත් මධ්‍යයේ වුවද, CFTC හි වගකීම් පරාසය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන්ම අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පවතින ‘Clarity Act’ පනත මඟින් බිට්කොයින් සහ ඊතර් වැනි ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල්වල නියාමන බලය මෙම ආයතනයට පැවරීමට නියමිතය. මීට අමතරව, වසරකට පෙර ඩොලර් මිලියන ගණනක අගයක තිබූ අනාවැකි වෙළෙඳපොළ (Polymarket සහ Kalshi වැනි) මේ වන විට ඩොලර් බිලියන දස දහස් ගණනක් දක්වා වර්ධනය වී තිබීම විශාල අභියෝගයකි.
අනාවැකි වෙළෙඳපොළ තුළ සිදුවන අභ්‍යන්තර තොරතුරු භාවිතා කර සිදුකරන ගනුදෙනු (Insider trading), වංචා සහ වෙළෙඳපොළ හැසිරවීම් සම්බන්ධයෙන් කොමිසම දැඩි විමර්ශන පවත්වයි. විශේෂයෙන්ම රජයේ රහසිගත තොරතුරු භාවිතා කර යම් පිරිසක් විශාල ලාභයක් ලබන බවට පවතින සැකය මත පරීක්ෂණ ක්‍රියාත්මක වේ. නීති විරෝධී කටයුතුවල නිරත වන ඕනෑම අයෙකුට උපරිම දඬුවම් පමුණුවන බව සභාපතිවරයා අවධාරණය කළේය.
දැනට පවතින නීතියට අනුව මෙම කොමිසම පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විය යුතු වුවද, ධවල මන්දිරය විසින් නව කොමසාරිස්වරුන් පත් නොකිරීම නිසා දැනට එය එක් පුද්ගලයෙකු යටතේ ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්ව ඇත. මේ නිසා ප්‍රධාන නීති රීති සම්පාදනය කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වී තිබේ.
අතිශය වේගයෙන් වර්ධනය වන ක්‍රිප්ටෝ වෙළෙඳපොළ පාලනය කිරීමට ප්‍රමාණවත් අයවැයක් සහ කාර්ය මණ්ඩලයක් රජය විසින් ලබාදිය යුතු බවට දේශපාලන ක්‍රියාධරයන් මෙහිදී පෙන්වා දී ඇත.


















