මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් අහිමි වූ බලශක්ති නිෂ්පාදනය යළි පූර්ව යුද මට්ටමට ගෙන ඒම සඳහා වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ප්‍රධානී ෆාති බිරෝල් මහතා ප්‍රකාශ කරයි. ස්විට්සර්ලන්තයේ ‘Neue Zuercher Zeitung’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ යුද්ධය හේතුවෙන් බලශක්ති යටිතල පහසුකම්වලට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බවයි.
මෙම කාලසීමාව රටින් රටට වෙනස් විය හැකි බවත්, සෞදි අරාබියට සාපේක්ෂව ඉරාකය වැනි රටවල නිෂ්පාදන ධාරිතාව යථා තත්ත්වයට පත් කිරීමට වැඩි කාලයක් ගතවනු ඇති බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් සමස්තයක් ලෙස කලාපයේ බලශක්ති ප්‍රතිදානය යුද්ධයට පෙර පැවැති මට්ටමට ළඟා වීමට දළ වශයෙන් වසර දෙකක කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබේ. ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල පාර්ශවයන් අතර පවතින ගැටුම් හේතුවෙන් සෞදි අරාම්කෝ (Saudi Aramco) වැනි ප්‍රධාන තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මෙම බලශක්ති අර්බුදයට සෘජුවම බලපා ඇත.














