ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා, මෙම පත්වීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, බදු ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික පුරෝකථනය යන ක්ෂේත්‍රවල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත නිලධාරියෙකි.
අධ්‍යාපන සුදුසුකම් අතින් ඔහු රුහුණ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. තවද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් සහ ජපානයේ IDEAS ආයතනයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සුදුසුකම් ලබා තිබේ.
සිය රාජ්‍ය සේවා කාලය තුළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනවල විවිධ තනතුරු හොබවා ඇත. මීට අමතරව රුහුණ විශ්වවිද්‍යාලය සහ SLIDA ආයතනය ඇතුළු ආයතන කිහිපයක කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්වූ පසුබිමක, අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා ආර්ථික හා සැලසුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අපොන්සු මහතා පත් කිරීම සුවිශේෂී වේ.














