ඉරාන යුද්ධය හේතුවෙන් වසා දමා ඇති ලොව අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීමේ මූලික සැලසුම් සකස් කිරීම සඳහා රටවල් 40කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ අද (අප්‍රේල් 17) ප්‍රංශයේ පැරිස් නුවරදී රැස් වෙති.
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛත්වය ගන්නා මෙම සන්ධානයට නේටෝ (NATO) සංවිධානයට අයත් රටවල් මෙන්ම දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය ද ඇතුළත් වේ. යුද්ධය අවසන් වූ වහාම නාවික කටයුතු යළි ආරම්භ කිරීම මොවුන්ගේ අරමුණයි.
මෙම මෙහෙයුම සඳහා යුද නැව්, ආරක්ෂක බලකායන්, බුද්ධි තොරතුරු අංශ සහ බෝම්බ ඉවත් කිරීමේ (Demining) විශේෂ කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර ඇත. දැනටමත් ඇතැම් යුරෝපීය රටවල් සිය නාවික යාත්‍රා කලාපය වෙත යොමු කර ඇති බව තහවුරු වී තිබේ.
පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය වසා දැමීය. පසුව අමෙරිකානු මැදිහත්වීම මත ද එය දිගින් දිගටම අවහිර වී පැවතීම නිසා ගෝලීය ආර්ථිකයට, විශේෂයෙන්ම යුරෝපයට දැඩි බලපෑම් එල්ල වී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ලොව ඉන්ධන සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන බැවින්, මෙය යළි විවෘත කිරීම ලෝක ආර්ථිකය ස්ථාවර කිරීමට අතිශය තීරණාත්මක වනු ඇත. කෙසේ වෙතත්, ස්ථාවර සටන් විරාමයක් ඇති කර ගැනීමට ගන්නා උත්සාහයන් අසාර්ථක වුවහොත් තවදුරටත් ආර්ථික පීඩනය ඉහළ යා හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














