ලෙබනනය සඳහා දින 10ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර, හිස්බුල්ලා සංවිධානයට එරෙහි මෙහෙයුම් තවමත් අවසන් වී නොමැති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්රායෙල් කැට්ස් (Israel Katz) ප්‍රකාශ කර තිබේ.ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම දින 10ක සටන් විරාමය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර දශක කිහිපයකට පසු පැවැති ප්‍රථම සෘජු රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවෙන් අනතුරුවය. කෙසේ වෙතත්, ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශ තවමත් හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් සම්පූර්ණයෙන්ම මුදාගෙන නොමැති බවත්, එම කටයුත්ත කෙසේ හෝ නිම කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරයි.
යම් හෙයකින් සටන් විරාමයෙන් පසු නැවත ගැටුම් ආරම්භ වුවහොත්, මේ වන විට දකුණු ලෙබනනයේ සිය නිවෙස් බලා පැමිණෙන ජනතාවට නැවතත් ඉවත් වීමට සිදුවනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීමක් කර තිබේ. ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සංවිධානයට විශාල හානියක් සිදුවුවද, සියලු ඉලක්ක සපුරා ගන්නා තෙක් මෙහෙයුම් අත්නොහරින බව ඊශ්‍රායලයේ ස්ථාවරය වී ඇත.












