සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයා වන ‘පොඩි පැටී’ ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 16 වනදා අහුංගල්ල, ලෝකන්වත්ත කනත්ත අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි වින්දිතයා ඉලක්ක කර ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් සිටියදී මෙම සැකකරු කොටු කරගැනීමට හැකි වී ඇත.
අහුංගල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ විශේෂ කාර්ය බළකා නිලධාරීන්, කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටි සැකකරුව ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අහුංගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














