පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන වඩාත් සාධාරණ සහ ස්වාධීන මට්ටමින් පවත්වාගෙන යාම සඳහා වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාව එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරන ලෙස රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලා සිටියි. කොළඹදී පැවති විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහනකට එක්වෙමින් පියතුමා මේ බව අවධාරණය කළේය.
සමාජය හා සාමයික කේන්ද්‍රය මගින් සංවිධානය කළ ‘මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා’ යන මැයෙන් යුත් මෙම වැඩසටහනේදී පියතුමා පෙන්වා දුන්නේ, ප්‍රහාරයෙන් වසර හතකට පසු විමර්ශන යම් සාධනීය මාවතකට අවතීර්ණ වී ඇති බවයි. කෙසේ වෙතත්, ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම සිදුවන අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයා බැවින්, විමර්ශන අවසන් වන තෙක් ඔහු එම තනතුරෙන් ඉවත් කර තැබීම විමර්ශනවල විනිවිදභාවය සඳහා අත්‍යවශ්‍ය වන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.














