දිවයිනට තවදුරටත් බලපා ඇති එල් නිනෝ කාලගුණික විපර්යාසයේ අහිතකර ප්‍රතිඵල හමුවේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය තහවුරු කරයි. අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 25,563කට අයත් පුද්ගලයින් 81,605 දෙනෙකු මේ වන විටත් දැඩි පීඩාවට පත්ව ඇති අතර, මෙම තත්ත්වය හමුවේ දේශීය ජනජීවිතය මෙන්ම කෘෂිකාර්මික හා ආර්ථික ක්‍රියාවලිය ද බරපතල අර්බුදයකට ලක්ව තිබේ.
උද්ගතවී ඇති දරුණු පානීය ජල අර්බුදය හමුවේ රජය ක්ෂණික මැදිහත්වීම් සිදු කරමින්, මීට පෙර ලබා දුන් දිනක ජල සීමාව පුද්ගලයෙකුට ලීටර් 6ක ප්‍රමාණයේ සිට ලීටර් 15 දක්වා ඉහළ නංවා ඇත. පීඩාවට පත් ප්‍රදේශ වෙත බවුසර් 324ක් යොදවා ජලය බෙදා හැරීම සිදු කෙරෙන අතර, අවශ්‍ය වුවහොත් ආරක්ෂක අංශ සහ පළාත් පාලන ආයතන සතු සම්පත් අතිරේකව කැඳවීමට ප්‍රාදේශීය කමිටුවලට පූර්ණ බලය පවරා ඇත. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ සඳහා විශේෂිත මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර, ග්‍රාම නිලධාරීවරයා හරහා ක්ෂණික සහන සේවා ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබේ.
මෙම දැඩි වියළි කාලගුණ තත්ත්වයෙන් අනතුරුව ඉදිරියේදී මතුවිය හැකි අධික වර්ෂාපතන සහ ආපදා තත්ත්වයන් කල්තබා කළමනාකරණය කර ගැනීම සඳහා රජය විසින් අයවැයෙන් රුපියල් මිලියන 4,800ක දැවැන්ත අරමුදලක් වෙන් කරනු ලැබ ඇත. දේශගුණික විපර්යාස හමුවේ මතුවන ජාතික මට්ටමේ අභියෝග සාර්ථකව ජය ගැනීම පිණිස ආයතනික යාන්ත්‍රණයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඉදිරි කාලය තුළ ජනතාවගේ ආරක්ෂාව සහ මූලික පහසුකම් තහවුරු කිරීම සඳහා විධිමත් සූදානමකින් යුතුව කටයුතු කරමින් සිටියි.














