මහත් ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ සාක්ෂියක් විපක්ෂය සතුව පවතී නම්, ඒවා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය නොකර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම වෙත ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි. බණ්ඩාරවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, හුදෙක් දේශපාලන වාසි තකා චෝදනා එල්ල කරනවා වෙනුවට නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් අදාළ විමර්ශන සඳහා සහාය වීම විපක්ෂයේ වගකීමක් බවයි. රජය විසින් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කර ඇත්තේ මෙම ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කිරීමට බැවින්, ඕනෑම පාර්ශ්වයකට එහි ගොස් කරුණු ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














