නෙළුව – මොරවක මාර්ගයේ ලේල්වල, ගුරුදියපත මන්සන්ධිය ආසන්නයේදී අද (20) උදෑසන සිදුවූ බිහිසුණු යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද උදෑසන 8.10ට පමණ ප්‍රතිවිරුද්ධ දිශාවලින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. යතුරුපැදිකරුවන් මාර්ගයේ දකුණු පසට බරව ධාවනය කිරීම අනතුරට හේතුව වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ අකුරැස්ස, පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ නෙළුව ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණයින් දෙදෙනෙකි. තුවාලකරුවන් නෙළුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. තුවාලකරුවන් දෙදෙනෙකුගේ හිසට සහ පාදවලට බරපතළ හානි සිදුව ඇති අතර අනෙක් පුද්ගලයාගේ ශරීර අභ්‍යන්තරයට හානි සිදුවී ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














