මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ඇප නියම කළේය.
කැබ් රථයක චැසි අංකය වෙනස් කර වංචනික ලෙස ලියාපදිංචි කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත ඒ මහතා පසුගිය මාර්තු 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ පරීක්ෂණවලට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඒ මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.














