මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හමුවේ සිදුවන මානුෂීය මෙහෙයුම් සහ පුද්ගලයන් ඉවත් කිරීමේ කටයුතුවලදී කලාපීය මධ්‍යස්ථානයක් ලෙස සිය භූමිකාව ශක්තිමත් කිරීම සඳහා සයිප්‍රසය සිය ප්‍රධාන ගුවන් සහ නාවික හමුදා කඳවුරු නවීකරණය කිරීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ මූල්‍ය සහාය හිමිවන බව නිලධාරීහු අද (අප්‍රේල් 20) ප්‍රකාශ කළහ.
සයිප්‍රසයේ පාපොස් (Paphos) හි පිහිටි ඇන්ඩ්‍රියාස් පපන්ඩ්‍රියෝ ගුවන් හමුදා කඳවුර පුළුල් කිරීමට නියමිත අතර, එහි විශාල ප්‍රමාණයේ යුද ප්‍රවාහන ගුවන් යානා රැසකට පහසුකම් සැලසෙන පරිදි නව අංගනයක් ඉදිකරනු ලබයි. මීට අමතරව, ලෙබනන් වෙරළට කිලෝමීටර් 229ක් නුදුරින් පිහිටි මාරි (Mari) හි ඉවැන්ජලොස් ෆ්ලෝරකිස් නාවික කඳවුරේ නව හෙලිකොප්ටර් අංගනයක් ඉදිකිරීමට නියමිතය. මේ හරහා ‘චිනූක්’ (Chinook) වැනි විශාල හෙලිකොප්ටර් යානා භාවිත කරමින් ගැටුම් පවතින ප්‍රදේශවල සිට පුද්ගලයන් ඉවත් කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කෙරේ.
ගුවන් හමුදා කඳවුරේ සංවර්ධන සැලසුම් සඳහා ඇමෙරිකාව දැනටමත් යුරෝ 500,000ක මුදලක් ලබා දී ඇති අතර, සමස්ත ව්‍යාපෘතියේ වැඩකටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට නියමිතය. ගුවන් හමුදා කඳවුරේ නවීකරණ කටයුතු සඳහා යුරෝ මිලියන 14ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, නාවික කඳවුරු ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 200ක් ඉක්මවූ පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි සයිප්‍රස් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.













