බාල ගල් අඟුරු වංචාව හේතුවෙන් විදුලිය නිෂ්පාදනය සඳහා වැඩිපුර ඩීසල් යොදා ගැනීමට රජයට සිදුව ඇති බවත්, එම ඩීසල් ගෙන්වීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සාධාරණ සැකයක් පවතින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. අද (අප්‍රේල් 20) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනය කිරීම සහ නියමිත වේලාවට ගල් අඟුරු නැව් ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය සියයට 50 දක්වා අඩුවී ඇති බවත්, ඉතිරි අවශ්‍යතාව ඩීසල් බලාගාර හරහා සපුරා ගැනීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ජල විදුලිය සඳහා ඒකකයකට රුපියල් 3ක් සහ ගල් අඟුරු සඳහා රුපියල් 23ක් වැයවන පසුබිමක, ඩීසල් මගින් විදුලිය නිපදවීමට ඒකකයකට රුපියල් 80ක් පමණ වැයවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය.
ලෝකයේ වැඩිම මිලක් ගෙවා ඩීසල් මිලදී ගැනීම හරහා විශාල වංචාවක් සිදුවන බවත්, බාල ගල් අඟුරු භාවිතය නිසා රටට සිදුවන වක්‍ර පාඩුව රුපියල් බිලියන 200ක් පමණ විය හැකි බවත් ඔහු පැවසීය. පුනර්ජනනීය බලශක්ති සමාගම්වලට ගෙවිය යුතු මුදල් ලබා නොදී එම මුදල් ඩීසල් ගෙන්වීමට යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත්, රජයේ මෙම ක්‍රියාකලාපය නිසා රට නැවත බංකොලොත් වීමේ අවදානමක් පවතින බවත් සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.













