ගතවූ අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ, පසුගිය වසරට සාපේක්ෂව මෙරට රිය අනතුරුවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. අද (අප්‍රේල් 20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරට සාපේක්ෂව මෙවර මාරක රිය අනතුරු 18 ක වර්ධනයක් දක්නට ලැබෙන අතර එම අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව ද 20 කින් ඉහළ ගොස් තිබේ. මීට අමතරව බරපතළ අනතුරු 94 කින් ද, සුළු අනතුරු 49 කින් ද සහ දේපළ අලාභ සිදු වූ අනතුරු 48 කින් ද පසුගිය වසරට වඩා වැඩි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
පොලිසිය සහ මාධ්‍ය මගින් අඛණ්ඩව දැනුම්වත් කිරීම් සහ ආරක්ෂක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ ද මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම කණගාටුදායක බව සේනාධීර මහතා සඳහන් කළේය. ඉදිරියේදී මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා රියදුරන් සහ මහජනතාව උපරිම සහාය ලබාදිය යුතු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.












