ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍රීය ආයතනයක් වන කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) සමාගම, ඉන්දීය රජයට අයත් ‘Mazagon Dock Shipbuilders’ (MDL) සමාගමේ පාලනය යටතේ පවතින අනුබද්ධිත ආයතනයක් බවට පත්ව තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 26.8 ක ආයෝජනයක් සිදු කරමින් එහි 51% ක හිමිකාරීත්වය අත්පත් කරගත් බව MDL සමාගම නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම පියවර සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා පෙන්වා දෙන්නේ මෙය දෙරට අතර ආරක්ෂක සහ කාර්මික සබඳතා තහවුරු කරන ඉතා වැදගත් උපායමාර්ගික පියවරක් බවයි. ඉන්දියාවේ ‘Maritime Amrit Kaal Vision 2047’ වැඩපිළිවෙළ යටතේ සිදු කෙරුණු මෙම අත්පත් කර ගැනීම, එම සමාගම ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ පළමු ආයෝජනය ලෙස ඉතිහාසයට එක්වන බව ද ඔහු සඳහන් කළේය.
මෙම ආයතනික වෙනසත් සමඟ කොළඹ ඩොක්යාඩ්හි අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිසංවිධානය කර ඇති අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හරහා වත්මන් මූල්‍ය වර්ෂය තුළ ලාභය 20% කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙරට විශාලතම නැව් තටාංගනය ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සමාගමක පාලනයට නතු වීම කලාපීය නාවික කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.













