ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩු හත, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු එම සංකීර්ණයේ පිහිටි වෙනත් අධිකරණ වෙත යොමු කරන්නේද යන්න පිළිබඳ තීරණය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (අප්‍රේල් 20) දැනුම් දුන්නේය.
දැනට මෙම නඩු හතෙන් දෙකක් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතර, සෙසු නඩු පහ වෙනත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනවිරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකාරිය පත්ව ඇති මානසික පීඩාව සලකා එක් නඩුවක සාක්ෂි විභාගය අවසන් වූ පසු අනෙක් නඩු අනුපිළිවෙළින් විභාගයට ගන්නා ලෙස ද විත්ති පාර්ශවය මෙහිදී ඉල්ලීම් කළේය.
රජයේ අධිනීතිඥවරිය ද මීට පෙර අධිකරණයට දන්වා සිටියේ නඩු දෙකක් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තබාගෙන සෙසු නඩු පහ අනෙකුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශ කිරීමට නියම කරමින් නඩුව එදිනට කල් තැබීය.














