සඳුදා දින සිදුවූ භූමිකම්පාවත් සමඟ ඉවාතේ ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මීටර් 03ක පමණ සුනාමි රළ පැමිණිය හැකි බවට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් පැය කිහිපයකට පසු ඉවත් කර ගනු ලැබීය. කෙසේ වෙතත් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ සාමාන්‍ය කාලවලට වඩා ඉදිරි සතිය තුළ මහා පරිමාණයේ භූමිකම්පාවක් සිදුවීමේ අවදානම සාපේක්ෂව වැඩි බවයි. මෙවර භූමිකම්පාව රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන් වූ අතර එය කිලෝමීටර් 10ක ගැඹුරින් සිදු වී ඇත. වාර්තා වූ විශාලතම සුනාමි රළ සෙන්ටිමීටර් 80ක් පමණ වූ අතර දැනට සුනාමි අනතුරු ඇඟවීම් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. පුද්ගල තුවාල හෝ විශාල දේපළ හානි වාර්තා වී නොමැති වුවද නිවාස 100කට පමණ විදුලිය විසන්ධි වූ අතර අධිවේගී දුම්රිය සේවා තාවකාලිකව නතර කර පසුව යළි ආරම්භ කෙරිණි. අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමඟ 170,000කට අධික පිරිසකට උස් බිම් කරා යන ලෙස නියෝග නිකුත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි.
ජපානය යනු වසරකට භූමිකම්පා 1,500ක් පමණ සිදුවන කලාපයකි. 2011 වසරේදී සිදුවූ ඒකක 9.0ක ප්‍රබල භූමිකම්පාවෙන් 18,000කට අධික පිරිසක් මියගිය අතර ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ද අනතුරට ලක්විය. එම අමිහිරි මතකයන් හේතුවෙන් මෙවර අනතුරු ඇඟවීම් පිළිබඳව ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන අතර වෙරළබඩ හා ගංගා ආශ්‍රිත ප්‍රදේශවලින් බැහැරව සිටින ලෙස අග්‍රාමාත්‍ය සානා ටකායිචි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















