පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් ලෙස පමණක් හුවා දක්වමින් සත්‍ය යටපත් කිරීමට පිරිසක් උත්සාහ කරන බව සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි. උන්වහන්සේ අවධාරණය කරන්නේ මෙම විනාශකාරී කුමන්ත්‍රණය මෙහෙයවූ සැබෑ පාර්ශ්වයන් සහරාන්ගේ කණ්ඩායමටත් වඩා ඉහළ මට්ටමක සිටි බවයි.
මෙම ප්‍රහාරය දියත් කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයක් පැවති බවට පැහැදිලි සාක්ෂි පවතින බව පියතුමා ප්‍රකාශ කරයි. සහරාන්ගේ කණ්ඩායම හුදෙක් ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නන් පමණක් වූ බවත්, එහි සැබෑ මහ මොළකරුවන් සහ මෙහෙයවන්නන් තවමත් අනාවරණය වී නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.
විවිධ පුද්ගලයින් වාර්තා හෝ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් මෙම අපරාධය පිළිබඳ කරුණු ඉදිරිපත් කළද, සැබෑ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන තාක් එවැනි හෙළිදරව් කිරීම් පිළිගත නොහැකි බව උන්වහන්සේ අවධාරණය කළහ. සත්‍යය වසන් කරමින් ජනතාව නොමඟ යැවීමට දරන උත්සාහයන් පිළිබඳව ද උන්වහන්සේ මෙහිදී සිය විවේචනය එල්ල කළහ.















