ලෝකයේ පැරණිතම සහ ප්‍රධානතම මැරතන් තරගයක් වන බොස්ටන් මැරතන් (Boston Marathon) 2026 තරගාවලියේදී ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.
වයස අවුරුදු 55 – 59 වයස් කාණ්ඩය යටතේ තරග වැදුණු ඔහු, එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් විය. ඔහු මෙම මැරතන් තරගය නිම කිරීමට ගත කළ කාලය පැය 2යි විනාඩි 36යි තත්ත්පර 32කි. මෙය එම වයස් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලය ලෙස ඉතිහාසයට එක්විය.
වසර 130ක ඉතිහාසයක් ඇති බොස්ටන් මැරතන් තරගය ඊයේ (අප්‍රේල් 20) ඇමරිකාවේ මැසචුසෙට්ස් (Massachusetts) ප්‍රාන්තයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ගාමිණී සුගතදාස මහතා ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාවේ නාමය රනින් බැබළවීමට සමත් වූ මෙම ජයග්‍රහණය දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයට ඉමහත් අභිමානයකි.














