පසුගිය සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී මෙරට අධිවේගී මාර්ග භාවිතයෙන් දින 10ක් ඇතුළත රුපියල් මිලියන 536කට අධික ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ උත්සව සමයේදී ජනතාව විශාල වශයෙන් අධිවේගී මාර්ග භාවිත කිරීම මෙලෙස ආදායම ඉහළ යාමට හේතු වූ බවයි.
මේ අතර අධිවේගී මාර්ග ජාලයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවද අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වන කොටස ලබන වසරේ (2027) මාර්තු මාසය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළේය. එසේම, කඩවත සිට මීරිගම දක්වා වන තීරණාත්මක කොටස ලබන වසරේ අවසානය වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.














