ආබාධිත පුද්ගලයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ පතුල් පහළ (Low floor) ප්‍රමුඛතා බස් රථ සේවාව අද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය. අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවුණු අතර, ආබාධිත ප්‍රජාවට පොදු ප්‍රවාහන සේවාවන්හිදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා මගහැරවීම මෙහි මූලික අරමුණයි. රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විශේෂ තාක්ෂණික අංගවලින් සමන්විත මෙම බස් රථයක එකවර මගීන් 80 දෙනෙකුට ගමන් කළ හැකි අතර ආසන 33ක් වෙන් කර තිබේ.
මෙම නව බස් සේවාව මාකුඹුරේ සිට පිටකොටුව සහ කඩවත දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල, කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ආවරණය වන පරිදි කාලසටහන් සකස් කර ඇත. මෙම සේවාව වඩාත් ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකුට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ආබාධිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.














