ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකෙන යුක්‍රේනයේ චර්නොබිල් (Chornobyl) න්‍යෂ්ටික බලාගාර පිපිරීමට වසර 40ක් සපිරෙන මොහොතක, එහි පිරිසිදු කිරීම් සඳහා මුලින්ම එක්වූ “Liquidators” කණ්ඩායමේ සාමාජිකයෙකු වන පෙට්‍රෝ හුරින් (Petro Hurin) සිය අත්දැකීම් විස්තර කර තිබේ.
1986 අප්‍රේල් 26 වැනිදා සිදුවූ මෙම පිපිරීමෙන් පසු විකිරණශීලී අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පෙට්‍රෝ හුරින් සේවය කළ ආයතනයෙන් 40 දෙනෙකු යවා තිබුණි. වසර 40කට පසු අද වන විට එම පිරිසෙන් ජීවත්ව සිටින්නේ ඔහු ඇතුළු පස්දෙනෙකු පමණක් බව 76 හැවිරිදි හුරින් මහතා පවසයි. අනතුර සිදු වූ වහාම බලාගාර සේවකයින් සහ ගිනි නිවන භටයින් 31 දෙනෙකු මියගිය අතර, පසුව ඇති වූ පිළිකා ඇතුළු විකිරණ ආශ්‍රිත රෝග හේතුවෙන් දහස් ගණනක් මියගොස් තිබේ. චර්නොබිල් අනතුරට මුහුණ දුන් කිසිදු පුද්ගලයෙකු අද යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන්නේ නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
චර්නොබිල් විපතින් දිවි ගලවා ගත්තද, හුරින් මහතාට තවත් පෞද්ගලික වේදනාවකට මුහුණ දීමට සිදුව ඇත. ඔහුගේ 26 හැවිරිදි මුනුපුරා වන ඇන්ඩ්‍රි (Andrii), 2023 වසරේදී වත්මන් යුක්‍රේන-රුසියානු යුද්ධයේදී මියගොස් තිබේ. චර්නොබිල් න්‍යෂ්ටික විපතින් පිටවූ විකිරණශීලී වලාකුළු මුළු යුරෝපය පුරාම ව්‍යාප්ත වූ අතර, එහි දිගුකාලීන බලපෑම් පිළිබඳව අදටත් ලෝකයේ විවිධ මතභේද පවතී.














