ඉන්දීය රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන් මීට සති තුනකට පෙර පනවා තිබූ සීමාවන් ඉන්දීය මහ බැංකුව (RBI) විසින් ඉවත් කර තිබුණද, එරට බැංකු තවමත් සිය ගනුදෙනුකරුවන්ට ‘Non-Deliverable Forwards’ (NDF) කොන්ත්‍රාත්තු ලබා දීමට මැලිවන බව වාර්තා වේ. පසුගිය අප්‍රේල් 1 වනදා පනවන ලද මෙම තහංචිය ඉවත් කිරීමට මහ බැංකුව පියවර ගත්තේ ඊයේ (අප්‍රේල් 20) දිනයේදීය.
විදේශ විනිමය අවදානම කළමනාකරණය කර ගැනීම සඳහා සමාගම් වෙත ලබා දෙන මෙම පහසුකම (Hedging) යළි විවෘත කළද, නියාමන ආයතනවල දැඩි පරීක්ෂාවන් සහ ඉන්දීය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති රවි සංකර්ගේ මෑත කාලීන ප්‍රකාශයන් හේතුවෙන් බැංකු ක්ෂේත්‍රය තවමත් අවදානමක් ගැනීමට සූදානම් නැති බව මූලාශ්‍ර පවසයි. අවලංගු කරන ලද විදේශ විනිමය කොන්ත්‍රාත්තු යළි වෙන් කරවා ගැනීම (Rebooking) සඳහා සමාගම් වෙත පනවා තිබූ සීමාවන් ද මහ බැංකුව විසින් ඉවත් කර ඇතත්, වෙළෙඳපොළ තුළ තවමත් පවතින්නේ මන්දගාමී ස්වභාවයකි.















