පාණදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගොරකපොළ ප්‍රදේශයේ පරණ පාරේ පිහිටි අබලි භාණ්ඩ එක්රැස් කරන වෙළෙඳසලක අද (21) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න හේතුවෙන් එම කඩ කාමරය තුළ තිබූ අබලි භාණ්ඩ රැසකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
වාසනාවකට මෙන් මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු තහවුරු කළේය. ගින්න පිළිබඳ දැනුම් දීමෙන් පසු මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වහාම එම ස්ථානයට පැමිණි අතර, ඔවුන් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කරමින් සිටී.
ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පාණදුර උතුර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.














