කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ වත්මන් රජය බලයට පත්වූයේ ප්‍රධාන කරුණු හතරක් වෙනුවෙන් බවත්, ඉන් පළමුවැන්න වන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කටයුත්ත මේ වන විටත් සාර්ථකව සිදුකරමින් පවතින බවත්ය. අද (21) අනුරාධපුරයේදී ‘වාරි මහිම’ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
දේශපාලන පරිවර්තනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ බලයට පත්වීමෙන් පසු කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකළ බවත්, රාජ්‍ය නිලධාරීන් අත්තනෝමතික ලෙස මාරු කිරීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවත්ය. දේශපාලන වෙනසක් සිදු වුවද කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොවන පරිදි කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ඔහු අවධාරණය කළේය.
රජය මුහුණ දුන් අභියෝග පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ ඇමෙරිකාව පැනවූ නව බදු සහ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තත්ත්වයන් රාජ්‍ය තාන්ත්‍රිකව සහ කැපවීමෙන් ජයගත් බවයි. විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශය කඩා වැටීමට ඉඩ නොතබා සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට රජය සහ ගොවීන් සමත් වූ බව ඔහු කියා සිටියේය.
ගොවි සහන සහ කෘෂිකාර්මික සැලසුම් පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පැවසුවේ වී මිල පාලනය කිරීමට රජය මැදිහත් වන බවත්, ගොවීන්ට සිය අස්වැන්න ආරක්ෂිතව තබා ගැනීමට රජයේ ගබඩා පහසුකම් සහ වී වේලන යන්ත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත්ය. වගා කරන භූමි ප්‍රමාණය වැඩි කිරීමට වඩා පවතින කුඹුරු ප්‍රමාණයෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීම රජයේ අරමුණ බව ඔහු පැවසීය.
ග්‍රාමීය සංවර්ධනය සඳහා ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන හඳුන්වා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ගමේ සංවර්ධන තීරණ ගැනීමේ බලය ගමේ ජනතාවටම ලබා දෙන බවයි. රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව එක්ව ගම ගොඩනැගිය යුතු බවත්, ගමේ පොදු කටයුතුවලදී සාමුහිකව කටයුතු කිරීමෙන් ශක්තිමත් බැඳීමක් ඇති වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
අවසාන වශයෙන් රජයට එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අසත්‍ය චෝදනා සහ අපහාස හමුවේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බවයි. වැරදි කරන අයට කිසිදු සමාවක් නොදෙන බවත්, රජය සතු බලය නිසි අවස්ථාවේදී නිවැරදිව භාවිත කරමින් ජනතා විශ්වාසය ආරක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














