රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී ජීප් රථ දෙකක් අනීතික ලෙස ලියාපදිංචි කර රජයට රුපියල් මිලියන සියයක බදු මුදලක් අහිමි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) හිටපු උසස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
සැකකරුවන්ට එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම වූ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේය.තොරතුරු හා සන්නිවේදන අංශ හිටපු සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, හිටපු නියෝජ්‍ය කොමසාරිස් විශාඛා විජේරත්න ඇලපාත, ලිපිකරු ධම්මික නිරෝෂන්, කළමනාකරණ සේවා නිලධාරි ඉන්ද්‍රා කුමාරි සහ ව්‍යාපාරික නලින් මහේෂ් යන පිරිස මෙලෙස ඇප ලැබූහ.
2017 වර්ෂයේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු මිට්සුබිෂි ජීප් රථ දෙකක්, 2002 වසරේ ආනයනය කළ ඒවා බව පෙන්වමින් කිසිදු මුල් ලිපිගොනුවක් නොමැතිව අනීතිකව ලියාපදිංචි කර තිබේ.
අල්ලස් කොමිසම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියද, ඔවුන්ට එරෙහිව පවතින සමාන වෙනත් නඩුවලදී ද ඇප කොන්දේසි කඩ කර නොමැති බව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කළේය.














