ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම බරපතළ අනතුරකට ලක්ව ඇති බවත්, එය වළක්වා ගැනීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් හදිසි ඉල්ලීමක් කරයි. ගෝලීය සහ දේශීය ආර්ථික සාධක රැසක් හේතුවෙන් ඖෂධ සැපයුම් දාමය මත එල්ල වී ඇති පීඩනය මේ වන විට දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව එම මණ්ඩලය අවධාරණය කරයි.
ඖෂධ මිල ඉහළ යාමට සහ හිඟයක් ඇති වීමට බලපා ඇති ප්‍රධාන සාධක කිහිපයක් ඔවුන් පෙන්වා දෙයි. ඉන්ධන මිල 38% කින් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 40% කට වඩා ඉහළ ගොස් ඇති අතර, ඖෂධ අමුද්‍රව්‍යවල ගෝලීය මිල ඇතැම් අවස්ථාවල 70% දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන පිරිවැය ඉහළ යාම, ආනයන බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රමාදය සහ මිල සමාලෝචන ක්‍රියාවලියේ පවතින ගැටලු හේතුවෙන් ඖෂධ නියමිත වේලාවට වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හුදෙක් කර්මාන්තයට පමණක් නොව ජාතික ආරක්ෂාවට ද බලපාන බරපතළ ප්‍රශ්නයක් බව පවසන මණ්ඩලය, වහාම පියවර නොගතහොත් රජයේ සහ පෞද්ගලික රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර අඩාල විය හැකි බවට අනතුරු අඟවයි. ඖෂධ සැපයුම ස්ථාවර කිරීම සඳහා ආනයන බලපත්‍ර ක්‍රියාවලියේ ප්‍රමාදයන් විසඳීම සහ පිරිවැයට සාපේක්ෂව විනිවිදභාවයකින් යුතු මිල සමාලෝචන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.














