පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කටයුතු තවත් කෙටි කාලයකදී සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. අද (අප්‍රේල් 21) රාත්‍රියේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විමර්ශනවල සැලකිය යුතු ප්‍රගතියක් දැනටමත් අත්කරගෙන ඇති බවයි.
ප්‍රහාරයෙන් වසර හතක් සපිරෙන මෙම අවස්ථාව වන විට, විමර්ශන කටයුතු පුළුල් මට්ටමින් සිදුවන බවත් ඒ පිළිබඳව අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා අත්අඩංගුවට ගැනීම වැනි තීරණාත්මක පියවරයන් හරහා විමර්ශනවල නව මාවතක් විවෘත වී ඇති බවත්, එමඟින් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රාශියක් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බවත් රජයේ විශ්වාසයයි.
ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව විමර්ශන අවසන් කර නුදුරේදීම සියලු තොරතුරු රටට අනාවරණය කරන බව වැඩිදුරටත් කියා සිටියේය.














