ව්‍යාපාරික වීසා බලපත්‍ර ලබාගෙන මෙරටට පැමිණ, වීසා කාලය කල් ඉකුත් වූ පසුව ද නීතිවිරෝධී ලෙස රැඳී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය මගින් අද (අප්‍රේල් 21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පිරිස අතර චීන ජාතිකයන් 47 දෙනෙකු, මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකු සහ එක් ඉන්දියානු ජාතිකයෙකු සිටින බව බලධාරීහු පවසති.
මොවුන් සියලු දෙනා ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ ඇති අතර, නීතිවිරෝධී ලෙස රැඳී සිටීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් පරිදි රඳවා තබාගෙන ඇත.














