මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට රත්නපුරේ උපන් ඒෂාන් මාලිංග පත්ව සිටී. පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 18) ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 03ක් දවාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් විය.
2001 වසරේ රත්නපුරේ උපත ලැබූ කිරිබත්ගල කංකානමලාගේ ඒෂාන් මාලිංග, අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඔහුගේ සුවිශේෂී පන්දු යැවීමේ විලාසය සහ වේගය මුලින්ම හඳුනාගනු ලැබුවේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චමිල ගමගේ මහතා විසිනි. රත්නපුරේ ක්‍රීඩා පිටියක ඔහු පන්දු යවන අයුරු දුටු චමිල ගමගේ මහතා, එම වීඩියෝව ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතා වෙත යොමු කර ඇති අතර රොෂාන් අබේසිංහ මහතාගේ මැදිහත් වීමෙන් රාගම ක්‍රිකට් සමාජය හරහා කොළඹට පැමිණි ඒෂාන්, එතැන් සිට සිය දක්ෂතා ඔප්නංවා ගනිමින් අද වන විට IPL පිටිය ජයගන්නා දක්ෂ වේග පන්දු යවන්නෙකු බවට පත්ව සිටී.














