පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) යූ.එන්. පණ්ඩිත මහත්මියට ලබා දී තිබූ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට නියෝග කර තිබේ. මෙම නියෝගයට අනුව අදාළ ස්ථාන මාරුවීම අද (අප්‍රේල් 21) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට මහලේකම්වරිය පියවර ගෙන ඇත.
මෙම නිලධාරිනිය පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහජන පෙත්සම් කාරක සභාව වෙත මාරු කර යවා තිබුණි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරියෙකු සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන විශේෂ විමර්ශනයක ප්‍රධාන සාක්ෂිකාරියක ලෙස පණ්ඩිත මහත්මිය කටයුතු කරන බැවින්, විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇය එම තනතුරේම රඳවා තබා ගන්නා ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇත.














