ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කර තිබේ. අප්‍රේල් 20 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එම වාර්ෂික වාර්තා පිළිගන්වමින් මෙම සාර්ථකත්වය නිල වශයෙන් තහවුරු කරන ලදී.
මෙම බැංකු ත්‍රිත්වය අත්පත් කරගෙන ඇති ලාභය ආර්ථික අර්බුදයකින් ගොඩඑන රටකට විශාල අස්වැසිල්ලක් වන අතර ලංකා බැංකුව බදුවලට පෙර රුපියල් බිලියන 120.8ක ලාභයක් ලබා ඉන් රුපියල් බිලියන 77ක් රජයට බදු ලෙස ගෙවා ඇත. මහජන බැංකුව බදුවලට පෙර රුපියල් බිලියන 64.4ක ලාභයක් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව බදුවලට පෙර බිලියන 59ක ලාභයක් ද වාර්තා කරමින් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 6ක ලාභාංශ පිරිනමා තිබේ.
සංඛ්‍යාලේඛන අතින් දැවැන්ත ජයග්‍රහණ ලැබුවද, සාමාන්‍ය පාරිභෝගිකයා රාජ්‍ය බැංකු තුළ තවමත් මුහුණ දෙන ගැටලු පිළිබඳව සමාජ කතාබහක් නිර්මාණය වී ඇත. පෞද්ගලික බැංකු පාරිභෝගිකයා වෙත ගොස් නම්‍යශීලී සේවාවක් සපයද්දී, රාජ්‍ය බැංකු තුළ තවමත් පවතින්නේ යල්පැන ගිය සහ දැඩි නිලධාරිවාදී ස්වරූපයකි. විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය වැටුප් ලබන්නන් ණයක් ලබාගැනීමට යාමේදී මුහුණ දෙන නිමක් නැති ලියකියවිලි පිරවීම සහ කාලය කාදමන රස්තියාදුව ප්‍රධාන ගැටලුවක් ලෙස පවතී. ඇතැම් විට ණය අයදුම්කරුවන්ට බැංකුවේ ගනුදෙනුකරුවෙකුට වඩා ‘සිඟමනේ ආවෙකු’ ලෙස සලකන බවටත්, ඔවුන්ව සති ගණනාවක් රස්තියාදු කරවන බවටත් චෝදනා එල්ල වේ.
රාජ්‍ය බැංකුවක සැබෑ අරමුණ හුදෙක් ලාභ ඉපයීම පමණක් නොව, ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම සහ ඔවුන්ට පහසුකම් සැලසීමයි. මෙම ඓතිහාසික මූල්‍ය ජයග්‍රහණය පාරිභෝගික සේවාව වඩාත් මානුෂීය සහ කඩිනම් කිරීමට අවස්ථාවක් කර ගැනීම බැංකු පාලනාධිකාරීන්ගේ වගකීම බව විචාරකයෝ පෙන්වා දෙති.













