රජයේ නව ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙරට ඇති මහ නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 276ක් යන සියලුම ආයතන මාර්ගගත (Online) ක්‍රමවේදයට එක් කිරීමට නියමිතය. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 20 වනදා පැවැත්විණි.
මෙම පද්ධතිය හරහා බදු ගෙවීම්, ජල බිල්පත් ගෙවීම්, බලපත්‍ර ලබාගැනීම, වීදි ලාම්පු නඩත්තුව, රථ ගාල් ගාස්තු ගෙවීම සහ පැමිණිලි ඉදිරිපත් කිරීම වැනි සේවාවන් රැසක් පළාත් පාලන ආයතනය වෙත නොපැමිණ ඉටුකර ගැනීමට මහජනයාට අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව, මෙමඟින් ආයතන තුළ සිදුවන නාස්තිය හා දූෂණය අවම කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද අපේක්ෂා කෙරේ.
පෙර පැවති පද්ධතීන් මෙන් නොව, මෙය කිසිදු බාහිර පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. එබැවින් පළාත් පාලන ආයතන වෙත කිසිදු වියදමකින් තොරව මෙම මධ්‍යගත පද්ධතිය ලබාදීමට හැකිවනු ඇත. ජනතාව මෙම ඩිජිටල් ක්‍රමවේදයට යොමු කිරීම සඳහා ඉදිරියේදී ත්‍යාග සහ ප්‍රතිලාභ සහිත ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.














