රෝද පුටු භාවිත කරන මගීන්ට, දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට මෙන්ම ගැබිනි මව්වරුන්ට ඉතා පහසුවෙන් ගොඩවිය හැකි පරිදි මෙම බස් රථ විශේෂයෙන් නිර්මාණය කර ඇත. ආරම්භක පියවරක් ලෙස බස් රථ 10ක් ධාවනයට එක් කර ඇති අතර, ඒවා මාකුඹුරේ සිට කොළඹ කොටුව දක්වා සහ මාකුඹුරේ සිට කඩවත දක්වා මාර්ගවල ධාවනය වේ. විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මෙම බස් සේවාව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, වසර අවසානයට පෙර මෙවැනි බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉදිරියේදී මහනුවර, මාතර, යාපනය සහ මඩකලපුව වැනි ප්‍රධාන නගර කරා ද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට නියමිතය. මීට අමතරව, මගීන්ට බස් රථ පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාගත හැකි LMT GO නමැති ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වා දීම ද මෙහිදී සිදු විය.
මගී ආසන 30කින් සමන්විත මෙම බස් රථවල රෝද පුටු සඳහා වෙනම ඉඩකඩක් වෙන් කර ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක් ලෙස සැලකේ. මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.













