කුරුණෑගල ප්‍රදේශයේ පිරිවෙනක වැඩවසන හත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට ක්‍රිකට් පිත්තකින් සහ කෝටුවකින් පහරදී, යකඩ ඇඳක ගසා අමානුෂික වධහිංසා පැමිණවීමේ පුවතක් වාර්තා වේ. රාත්‍රී කාලයේදී දුටු බියකරු සිහිනයක් නිසා කුඩා හිමිනම කෑගැසීම මෙම වධහිංසාවට හේතුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකාර හිමිවරුන් මෙම පහරදීමෙන් පසු කුඩා හිමිනම වතුර බාල්දියකින් නහවා, පසුදින පහන් වනතුරු තෙත බරිත සිවුර පිටින්ම දැඩි සීතලේ සිටීමට බලකර ඇති බව ද අනාවරණය වේ.
මෙම කෲර ක්‍රියාව හේතුවෙන් බරපතළ තුවාල ලැබූ සාමණේර හිමිනම මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් පිරිවෙනේම අධ්‍යාපනය ලබන තිස් හැවිරිදි හිමිනමක් කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එසේම සිද්ධියෙන් පසු මිහින්තලය ප්‍රදේශයට පලාගොස් සැඟව සිටි 26 හැවිරිදි ප්‍රධාන සැකකාර හිමිනම ද මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර උන්වහන්සේ මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.












