විශ්වයේ පවතින අභිරහස් ශක්තියක් වන ‘කළු ශක්තිය’ (Dark Energy) පිළිබඳව ගවේෂණය කිරීම සඳහා මිනිස් ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය කරන ලද විශාලතම සහ ඉහළම විභේදනයකින් යුත් (High-resolution) විශ්වයේ ත්‍රිමාණ සිතියම සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. වසර පහක් පුරා සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් මෙම සිතියම නිර්මාණය කර ඇත.
Dark Energy Spectroscopic Instrument (DESI) ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් ගැලැක්සි (Galaxies) සහ ක්වේසාර් (Quasars) මිලියන 47කට අධික සංඛ්‍යාවක දත්ත එක්රැස් කර ඇත. මෙය ඔවුන්ගේ මුල් ඉලක්කය වූ මිලියන 34ක සීමාව බෙහෙවින් අභිබවා යාමකි. මීට අමතරව අපේ මන්දාකිණිය වන ක්ෂීරපථය (Milky Way) අධ්‍යයනය කිරීම සඳහා තරු මිලියන 20ක දත්ත ද ලබාගෙන තිබේ.
අමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි නිකලස් යූ. මායල් (Nicholas U. Mayall) දුරේක්ෂය මත සවිකර ඇති කුඩා රොබෝ අත් 5,000ක් මෙම නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනේ. මෙම රොබෝ අත් මගින් සෑම විනාඩි 20කට වරක්ම ඉතා දුරින් පිහිටි ගැලැක්සිවලින් එන අතිශය දුර්වල ආලෝක කිරණ ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය පරිදි ෆයිබර් ඔප්ටික්ස් (Fiber-optic) ස්ථානගත කරනු ලබයි.
විශ්වය ඉතා වේගයෙන් ප්‍රසාරණය වීමට බලපාන ප්‍රධාන සාධකය මෙම ‘කළු ශක්තිය’ බව විද්‍යාඥයන් විශ්වාස කරයි. මෙම නව සිතියම හරහා බිලියන ගණනක වසරක කාලයක් පුරා මෙම ශක්තිය විශ්වයේ වර්ධනයට බලපා ඇති ආකාරය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින්ට අවස්ථාව ලැබේ. මූලික දත්තවලට අනුව කළු ශක්තිය කාලයත් සමඟ වෙනස් වන බලවේගයක් විය හැකි බවට ද අනුමාන කෙරේ.
මෙම සිතියම සම්පූර්ණ කිරීම ව්‍යාපෘතියේ අවසානය නොවන අතර, ඉදිරියේදී විශ්වයේ වඩාත් දුරින් පිහිටි ප්‍රදේශ නිරීක්ෂණය කරමින් දත්තවල නිවැරදිභාවය තවදුරටත් ඉහළ නැංවීමට පර්යේෂකයන් සැලසුම් කර ඇත.













