කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ පිහිටි ඉන්ධන හලක සේවකයකුට (පොම්පකරුට) මෝටර් රථ රියදුරෙකු විසින් පහරදීමේ පුවතක් අද (22) වාර්තා වේ. සිය වාහනයේ අංක තහඩුවට අනුව ඉන්ධන ලබාගැනීමට නියමිත දිනය නොවන දිනක පැමිණ, ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ රියදුරු මෙලෙස පහරදී ඇති බව කැස්බෑව පොලිසිය පවසයි.
අද දින ක්‍රියාත්මක වන ‘ඉරට්ටේ’ අංක හිමි වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රමය යටතේ, ‘ඔත්තේ’ අංකයක් සහිත මෝටර් රථයකට ඉන්ධන ලබාදීම පොම්පකරු විසින් ප්‍රතික්ෂේප කර ඇත. එම අවස්ථාවේදී රියදුරු අසුන අසල සිටි කාන්තාව තෙල් සංස්ථාවේ නිලධාරිනියක් බව පවසමින් බලහත්කාරයෙන් ඉන්ධන ලබාගැනීමට රියදුරු උත්සාහ කර ඇති අතර, එය සාර්ථක නොවීම නිසා ඔහු සේවකයාගේ කම්මුලට පහර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ සේවකයා විසින් කැස්බෑව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති පොලිසිය, සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ද සහය ලබාගැනීමට නියමිතය.













