ඉන්දීය මහ බැංකුව (RBI) විසින් පනවන ලද විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් විදේශීය ආයෝජකයින් එරට රජයේ බැඳුම්කර වෙළඳපොළෙන් සිය ලාභ ලබාගෙන ඉවත් වීමට පෙළඹී ඇති බව Nuvama සමූහ ව්‍යාපාරයේ ස්ථාවර ආදායම් අංශයේ ඉහළ නිලධාරියෙකු වන මාර්වාහා මහතා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය නිසා ඉන්දියාවේ ණය ගැනීමේ පිරිවැය වසර දෙකකින් පසු ඉහළම අගය දක්වා වර්ධනය වී තිබේ.
ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ ඉන්දීය රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටුණු අතර, එය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු අග සහ අප්‍රේල් මුලදී ඉන්දීය මහ බැංකුව දැඩි විනිමය නීති පැනවීමට කටයුතු කළේය. සංඛ්‍යාලේඛනවලට අනුව, මාර්තු 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා වූ කාලය තුළ විදේශීය ආයෝජකයින් ඉන්දීය රුපියල් බිලියන 222ක බැඳුම්කර අලෙවි කර වෙළඳපොළෙන් ඉවත් වී ඇත.
පවතින ආර්ථික අස්ථාවරත්වය සහ උද්ධමන අවදානම හමුවේ විදේශීය ආයෝජකයින් යළි ඉන්දීය වෙළඳපොළට ආකර්ෂණය කර ගැනීමට නම් බැඳුම්කර පලදායීතාව (Bond yields) සැලකිය යුතු ලෙස ඉහළ යා යුතු බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. තෙල් ආනයනය මත දැඩි ලෙස යැපෙන ඉන්දියාව වැනි රටකට මැදපෙරදිග යුද වාතාවරණය සහ ඉන්දීය රුපියලේ අගය පහත වැටීම ඉදිරි මාසවලදී දැඩි ආර්ථික අභියෝග එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















