පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට එරෙහි පරීක්ෂණවල ප්‍රගතිය ලබන මැයි මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සැකකාර සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
මීට පෙර නඩු වාරයේදී කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ලබාදුන් නියෝගයකට අනුව සැකකරු අද දින අධිකරණයට රැගෙන විත් තිබුණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සුරේෂ් සලේ මහතා තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියම කළ අතර අදාළ පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.














