පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම විධිමත් කිරීම සඳහා නව අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
2021 වසරේදී මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මීට පෙර අනුමැතිය ලැබී තිබුණද, ඒ සඳහා ස්ථාවර ක්‍රමවේදයක් හෝ ව්‍යුහයක් නොමැති වීම හේතුවෙන් ප්‍රායෝගිකව බාධා මතුව ඇති බව රජය හඳුනාගෙන තිබේ. ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම නව කමිටුව අමාත්‍යාංශ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත වනු ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ හඳුනාගත් නිර්දේශ කඩිනමින් සහ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමයි.














