අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්වරියගේ ස්වාමිපුරුෂයා ලෙස පෙනී සිටිමින්, කොළඹ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයෙකුට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි මොහු, සිය මිත්‍රයෙකුගේ දරුවන් දෙදෙනෙකු පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා මෙම වංචනික උත්සාහයක නිරත වී ඇත. විමර්ශනවලදී හෙළි වූ තොරතුරුවලට අනුව සිය බිරිඳ අග්‍රාමාත්‍යවරිය සමඟ විදෙස්ගතව සිටින බව පෙන්වීමට මොහු AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය ඔස්සේ සකස් කරන ලද ව්‍යාජ ඡායාරූප විදුහල්පතිවරයාට පෙන්වා තිබේ.
සැකකරු මීට පෙරද ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වසර 5ක සිරදඬුවම් විඳ මීට වසරකට පෙර නිදහස් වූ අයෙකු බව හෙළි වී ඇති අතර, මොහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස තමන් සතු බව පෙන්වන ව්‍යාජ ලේඛන ද පොලිසිය විසින් සොයාගෙන ඇත. සිය බිරිඳ අගමැතිනියගේ ලේකම්වරියක බව පැවසුවද සැබවින්ම ඇය මොහු අතහැර ගොස් ඇති බවත්, එම කාන්තාවගේ ඡායාරූප වංචනික ලෙස AI මගින් සංස්කරණය කර මෙලෙස භාවිත කර ඇති බවත් අනාවරණය වී තිබේ. සැකකරුගේ හැසිරීම පිළිබඳ විදුහල්පතිවරයාට ඇති වූ සැකය මත අග්‍රාමාත්‍ය කාර්යාලයට කළ දැනුම් දීමක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.














