එංගලන්ත පාපන්දු තරුවක වන ජූඩ් බෙලින්හැම්, එංගලන්තයේ ‘The Hundred’ ක්‍රිකට් තරගාවලියට අයත් බර්මිංහැම් ෆීනික්ස් (Birmingham Phoenix) කණ්ඩායමේ 1.2% ක කොටස් හිමිකාරිත්වයක් මිලදී ගෙන තිබේ. බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණය මුලස්ථානය කරගත් මෙම කණ්ඩායමේ පාලන බලය හිමි වෝර්වික්ෂයර් (Warwickshire) ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සහ ඇමෙරිකානු Knighthead Capital ආයතනය එක්ව මෙම ගනුදෙනුව සිදු කර ඇත.
පවුම් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මෙම ආයෝජනය පිළිබඳ නිල නිවේදනය අද (බදාදා) නිකුත් කිරීමට නියමිතය. 22 හැවිරිදි බෙලින්හැම් කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි අයෙකු වන අතර, ඔහු පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමාට වෙනත් ක්‍රීඩකයෙකු සමඟ ජීවිතය හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලැබුණහොත් ඒ සඳහා එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් තෝරා ගන්නා බවයි. ප්‍රසිද්ධ NFL ක්‍රීඩක ටොම් බ්‍රේඩි (Tom Brady) ද මෙම ආයෝජන කණ්ඩායමේ කොටස්කරුවෙකු වීම විශේෂත්වයකි.













