ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා සහ කේශ ධාතූන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේලා විසින් කරන ලද ඉල්ලීමකට අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
නීලගිරි ස්ථූප කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා, තායිලන්ත රජයෙන් ප්‍රදානය කළ කොළඹ ගංගාරාමයේ තැන්පත් කර ඇති කේශ ධාතූන් වහන්සේලා සහ මහියංගන රජමහා විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය. මෙම ප්‍රදර්ශනය සහ වන්දනාමාන කටයුතු 2026 මැයි 02 දින සිට මැයි 10 දින දක්වා ටෙක්සාස් මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.












