විදේශ රටකට ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ 25ක) මුදලක් පරිගණක හැකර්වරයෙකු සතු වී ඇති බවත්, මේ හේතුවෙන් රටේ මූල්‍ය ආරක්ෂාව දැඩි අනතුරකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
වත්මන් රජය ණය වාරික ගෙවීමේදී නිසි තහවුරු කර ගැනීමකින් තොරව කටයුතු කිරීම නිසා මෙම මුදල අතුරුදන් වී ඇති බව විපක්ෂ නායකවරයා චෝදනා කරයි. වාර්තා වන තොරතුරුවලට අනුව, කිසියම් හැකර්වරයෙකු විසින් ව්‍යාජ තොරතුරු සපයා මෙම ඩොලර් මිලියන 2.5ක මුදල ලබාගෙන තිබේ.
අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ද මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණු අතර, එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති බවයි. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරනු ඇති බවත්, පාර්ලිමේන්තු විමර්ශනයක් සම්බන්ධයෙන් කතානායකවරයා තීරණය කරනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













