පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දුන් නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද (අප්‍රේල් 22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණද, ඒවායේ ප්‍රගතිය ඇගයීමට හෝ විධිමත්ව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට ස්ථාවර ක්‍රමවේදයක් මෙතෙක් පැවති නැත. ඒ අනුව, මහජන හා ජාතික ආරක්ෂාව තහවුරු වන පරිදි පුළුල් සංවිධානාත්මක ව්‍යුහයකින් යුත් වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම නව කමිටුව අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල නියෝජිතයන්ගෙන් මෙන්ම ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත වනු ඇත. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් පාස්කු ප්‍රහාරයේ නිර්දේශ කඩිනමින් සහ විධිමත්ව බලාත්මක කිරීමට අපේක්ෂිතය.














