පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ අටවැනි සංවත්සරයට පෙර එහි සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (අප්‍රේල් 22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
දැනට රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 2018 වසරේ වව්නතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සහ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම පිළිබඳ විමර්ශන හිතාමතාම නොමඟ යැවූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. සහරාන්ගේ ඥාතියෙකු වන ගෆූර් මාමාගේ නිවසේ තිබී පොලිස් නිලධාරීන්ගේ ආයුධ හමු වුවද, බුද්ධි අංශ මැදිහත් වී එම විමර්ශනය යටපත් කළ බව පැමිණිල්ල පෙන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරය හුදෙක් අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් පමණක් නොව, එය අභ්‍යන්තර සහය සහිත සංවිධානාත්මක මෙහෙයුමක් බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. 2015 සිට සිදුවූ විවිධ සිදුවීම්, මාවනැල්ල බුදු පිළිම කැඩීම සහ දේශපාලන බලය ලබාගැනීම සඳහා වූ සැලසුම් අතර සෘජු සම්බන්ධයක් පවතින බව ඔහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ ලබාදුන් ‘කලීල්’ නමැති සාක්ෂිකරුගේ නිවසට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගොස් තර්ජනය කර ඇති බවත්, ඔහු සතුව තිබූ බව පෙන්වමින් අත්බෝම්බ සහ ගිනිඅවි දමා ඔහුව අත්අඩංගුවට ගැනීමට STF හරහා සැලසුම් කර ඇති බවත් අනාවරණය විය. දැනට සේවයේ සිටින ඉහළම පොලිස් නිලධාරියෙකු වන නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ද මෙහිදී චෝදනා එල්ල විය.
කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙළි කළ අසාද් මවුලානා දැනට ප්‍රංශයේ රැඳී සිටින අතර, ප්‍රංශ තානාපති කාර්යාලය හරහා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරමින් පවතින බව පැමිණිල්ල සඳහන් කළේය.
කෙසේ වෙතත්, මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අවධාරණය කළේ හුදෙක් මතවාද ඉදිරිපත් නොකර සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. සුරේෂ් සලේ මහතා තවදුරටත් රැඳවුම් භාරයේ තැබීමට නියෝග කළ අතර, වැඩිදුර විමර්ශන වාර්තා සඳහා නඩුව මැයි 20 වනදා යළි කැඳවීමට නියමිතය.













