පසුගිය වසරේ කොලරාඩෝ හි ෆෙඩරල් ආගමන පහසුකම් මධ්‍යස්ථානයක් ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රේගු සහ දේශසීමා ආරක්ෂක (CBP) නිලධාරියෙකුට එරෙහිව කොලරාඩෝ දිස්ත්‍රික් නීතිඥවරයා බදාදා (අප්‍රේල් 22) චෝදනා ගොනු කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවලට අනුව නිකලස් රයිස් (Nicholas Rice) නමැති මෙම නිලධාරියා අදාළ කාන්තාවගේ ගෙල සිරකර (Chokehold) ඇයව බිමෙන් ඉහළට ඔසවා ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ. සිද්ධිය වන අවස්ථාවේදී එම කාන්තාව අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය වීඩියෝ කරමින් සිට ඇත. ඔහුට එරෙහිව තෙවන මට්ටමේ පහරදීම සහ සාපරාධී හානි සිදුකිරීම යන චෝදනා එල්ල වී තිබේ.
මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) සිය දැඩි අකමැත්ත පළ කර ඇති අතර මෙය “දේශපාලන සංදර්ශනයක්” ලෙස ඔවුන් හඳුන්වා දී ඇත. ෆෙඩරල් නිලධාරීන් සම්බන්ධ විමර්ශන සිදු කිරීමට ප්‍රාන්ත රජයන්ට බලයක් නොමැති බව ඔවුන්ගේ තර්කයයි.
මෙම විරෝධතාවය පවත්වා ඇත්තේ පාසල් යමින් සිටි පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ආගමන නිලධාරීන් විසින් වැරදීමකින් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි. වත්මන් රජයේ දැඩි ආගමන නීති හමුවේ මෑතකදී ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු ෆෙඩරල් නිලධාරීන් අතින් වෙඩි කා මියයාම හේතුවෙන් ඇමෙරිකාව පුරා විරෝධතා රැල්ලක් හටගෙන තිබේ.














